26
බොරැල්ලෙන් බහින්න හිතාගෙන ආපු ජීවකත් සමීරත් අන්තිමේදී නැවත ඔවුන්ගේ නවාතැනට ආවේ ආරණ්යාව ඇයගේ නිවසටම ඇරලලා. එහිදී ආරණ්යාගේ මවගෙන් උණු උණු කෝපි සංග්රහයක් භූක්ති විඳීමටද ඔවුනට හැකි විනි.”මේ ගෙවල් වල මිනිස්සු නම් නිදියගෙන හීනත් බලනවා වගේ, එක ගේක ලයිට් එකක් නෑනෙ මචං, ඒත් අපේ වත්තේ කට්ටියනම් මහා රෑ ජාමෙ වෙනකම් ඇහැරලා ” සමීර නෝමන් ටෙරස් ලේන් එකේ දෙපස, මහා මන්දිර දිහා ඇඟිල්ල දිගු කරමින් පැවසීය.
”මට මේක පෙනෙන්නෙ මෙහෙමයි, මේ පැත්තෙ ඉන්න උන්ට ජීවත් වෙන්න අරමුණක් තියෙනවා, උදේ නැගිටලා පටන් ගන්න දවසක් තියෙනවා මචං, ඒත් මේ ලෝකෙ හැමෝටම එහෙම නෑ” ජීවක පවසද්දීම සමීරට හීන් හිනාවක් ගියා.
”ඇයි උඹ හිනා වෙන්නෙ, මං කියන්නෙ ඇත්ත මචං දැන් බලපං මේ පාර කෙළවර පේන අර ලයිට් එළි සේරම අපේ වත්තෙ එළි. මොකෝ උන්ට උදේ රැයින් නැගිටලා කරන්න අහවල් දෙයක් තියෙනවා කියලද? අනික ඒ මිනිස්සු බොහොමයක් වැඩ අල්ලන්නෙ රෑට , කළුවර උන්ට ආශිර්වාදයක් වගේ”
”ඔව් ඔව් මම කින්ඩියට හිනා උනේ නෑ මචං, මට අබාගෙ අම්මා අහපු දෙයක් මතක් වෙලා හිනා ගියේ”
කිසිවෙක් නොසිටි, වීදි ලාම්පු වලින් ආලෝකමත් වූ පාර මැද ගමන් කරමින් සිටි ජීවක ගල් කැටයකට පයින් ගැසුවේය. එය වීසිවී ගොස් අසල ගේට්ටුවක වැදී හඩ නැගිනි. ඒත් එක්කම බල්ලෙකුගේ බිරුමක් නැගෙන්නට විය.
”මොකද බං උඹට වෙලා තියෙන්නෙ, නිදං ඉන්න මිනිස්සු ඇරන්නද හදන්නේ”සමීර නොරිස්සුම් සහගත ස්වරූපයෙන් ඇසීය.
”සොරි මචං මං එහෙම හිතලා කරේ නෑ පුරුද්දට වගේ, ගලට පයින් ගැහුවේ, මොකද උඹට හිනා ගියේ ඉස්සෙල්ලා”
”ආ අර ඇන්ටි, තව අවුරුද්දකින් පාස් අවුට් වෙනවා නේද, මොනවද ඔය ළමයි කරන්න හිතං ඉන්නෙ කියල ඇහුව එකට උඹ කිව්වෙ, අපි හිතං ඉන්නෙ ඇන්ටි ජීවත් වෙන්න කියලා, ඒක මතක් වෙලා හිනා ගියේ, ඒක ඇහුනා විතරයි ඇන්ටිගෙ මූණ හතරැස් උනා, උඹටත් ඔල්මාදෙ”
”ඉතිං මං වැරදි දෙයක් කිව්වයැ”
” ඔහොම දෙපැත්ත කැපෙන කතා අපි අපි කියා ගත්තට, වැඩිහිටි අයට ඕවා තේරෙන්නෙ නෑ මචං”
”මං කියන එ්ව කිරල මැනලා පෙරල එළියට දාන්නෙ නෑනෙ , අබාට කියන්න ඕනේ ඒකට අම්මගෙ හිත රිදුනනම් සමාවෙන්න කියලා”
”ඔව් ඒක හොඳයි” සමීරත් ජීවකත් අඩිය ඉක්මන් කර තම නවාතැන දෙසට පිය නැගුවෝය. ඔවුන් එහි ළඟා වන විට තිලක් එහි සිටියේ නැත, තිලක් මෙහි නොමැති නම් අනිවාර්යෙන් ඇත්තේ, වත්ත කෙළවර සෑදූ ශාලාවේ බව දන්නා ඔවුහුද මහන්සිය යන්නත් එක්ක නාගෙන , තිලක් විසින් පිළියෙල කර තිබූ බත්, හොදි පිඟාන වලට බෙදා ඒ සියල්ල රැගෙන ශාලාව වෙත පිය මැන්නා.
”කොහෙද උඹලා ගියේ” ශාලාවට ඇතුලූ වුනු ජීවකත් සමීරත් දුටුවනම තිලක් උස් හඩින් ඇසීය.
”කෑ නොගහ හිටපන් කියන්න විස්තර, මල්ලිලා පාඩම් කරගන්න, තේරෙන්නෙ නැති දෙයක් තියේ නම් අපෙන් අහන්ඩ හොඳේ” ජීවක, ඒ වන විටත් ශාලාවේ තැනින් තැන පාඩම් පොත් දිග ඇරගෙන පාඩම් කරමින් සිටි අහළ පහළ දරුවන් කීපදෙනා දෙස බලමින් පැවසීය. තම නිවස්නයන් හි සාමකාමීව මනස නිරවුල්ව පාඩමේ යෙදෙන්නට නොහැකි නිසාවෙන් ඇතැම් දරුවෝ රාත්රී එකොළහ පමණ වන තුරු මේ ශාලාවේ පාඩමේ යෙදෙති.
ශාලාවට ඇතුලූ වන තැනම තිබෙන මේසය අසල අසුන් ගත් යහළුවන් තිදෙන තම සටහන් ගොනු ළං කරගත්තේය.
”ඉතිං කොහෙද කියපන් ගියේ.” තිලක් හඩ නොනැගෙන ලෙස හෙමින් ජීවකගෙන් ඇසීය.
”අපි ගියානෙ අනූගෙ එක්සිබිෂන් එක බලන්න” සමීර හඩ අවදි කළේය. එතැන් පටන් සිදුවූ සියල්ල තිලක් හට නාට්යමය ස්වරූපයෙන් සමීර පවසද්දී ජීවකද අඩු වැඩිය එකතු කළේය.
”අබාගෙ අම්මා අපිව දැක්ක ගමන් මාර කථාවක්නෙ කිව්වෙ”
”ඒ මොකක්ද”
”ආ දැන් මේයාට බොඩි ගාඞ්ලත් ඉන්නවද,කියලා කිව්වෙ නැතෑ ගෙට ගොඩ වෙනකොටම, අම්මා ටිකක් සැර පාටයි ”
” අම්මලා කොහොමත් එහෙමයි, අනික ඉතින් අපි වගේ ඇහැට කනට පේන කොල්ලො දෙන්නෙක් දැක්කම ඒ ඇන්ටි උනත් බය වෙන්ඩ ඇති” සමීර තම කොළරය අතින් හදමින් පැවසීය
”ආ උඹලව කනටත් පේනවද?” තිලක් විමසීය
”ඈ මොකක්, කනෙන් පේන්නෙ කොහොමද බං” සමීර තුශ්නිම්භූත වීය.
”ඇයි දැං උඹමනෙ කිව්වෙ අහැට කනට පේන කොල්ලො කියලා” තිලක්ගේ සිනහවට ජීවකත් එකතු වුනා
”අනේ මේ පුතෝ අහගන්ඩ එපා මගෙන්..” සමීර එසේ කියමින් පිඟාන සේදීම සඳහා පයිප්පය දෙසට ගියේය.
”ජීවක මහත්තයා” කියමින් ඩෙනිම් සයිමන් ශාලාවට ඇතුලූ වුනේ ඔය අතරතුරය.
මතු සබැඳෙයි.


1 comments:
කැම්පස් එකෙදි අධයන වැඩක් හෝ වෙනත් බාහිර වැඩක් නිසා කරුවල වැටෙන්න කලින් ගැනු ලමයින්ට බොඩිමට යන්න බැරි වුනොත් අපිත් අනන්තවත් බොඩිමට ගිහිදාලා තියෙනවා.ඒ ඒක සහෝදරයන් හැටියට අපේ වගකිමක් බව කැම්පස් ජිවිතයේ මුල් කාලයේදිම ජේෂ්ඨයන් හිතට කාවද්දලා තියෙන නිසා.
Post a Comment