Thursday, 15 May 2008

ඔයා මට තේරුම් කරන්න ඕනෙ නැහැ

23
දේශනයක් අවසානයේ එක රොත්තට එළියට ඇදෙන සිසුන් අතරෙන් අපහසුවෙන් එළිමහනට පැමිණි අබා හට කසුන් ඇහෙන් ඉඟි කර පෙන්වූයේ ඔවුන් මග හැර ඉවත ඇදෙන දිසාවය.
”අයියෝ කසුන් ඔයාට තිබ්බෙ, තව මොනවද කියන්නෙ කියලා අහගන්න”
”පිස්සුද අබා, මට බෑනෙ ඔය දිව දෙකේ වැඩ කරන්න”
”මට නම් හිතා ගන්නවත් බැහැ දිසාලා මං ගැන මෙහෙම කියයි කියලා,අනික එයා අපෙ ගෙවල් ළඟ ඉන්නේ, එයා ගෙවල් වල ගිහින් මොනවා කියලද දන්නෙ නෑ. අනේ මටනම් පුදුමයි කසුන්”
”ඔය මනස්ගාත හිතන්න එපා, පේනවනේ, එයාගෙ ඇත්ත ස්වරූපය එළි උනහම දැන් ඔයාව මග ඇරලා අර ඉස්සර වහ කදුරු වෙලා හිටපු , සඳුනිලා, භාරතී ලා එක්ක ඉන්න හැටි.”
”ඔව් අප්පා මට පුදුම, මා අතින් කොයි තරම් ඒ අයට බැනලා තියෙනවද දිසාම”
”දැන් ඔයා දන්නවනේ එයාගෙ හැටි, පරිස්සම් වෙන්න, අද හවස ලැබ් එක ඉවර උනහම ගෙදර යනවද, නැත්නම් ලයිබ්රරි යනවද”
”අද හවසට ජීවක එන්න කීවනෙ ගමනක් යන්න”
”දැන්නම් මට සැකයකුත් හිතෙනවා”
”අනෙ මේ ...”
”සොරි ඩොට් කොම්. සමාවෙන්න මැඩම් විහිළුවක් කලේ.
”ජීවකයි මායි අතරෙ යාළුකමකට වඩා එහා ගිය යමක් තියෙනවනම් ඒ සහෝදරකම විතරයි”
”ඔයා මට තේරුම් කරන්න ඕනෙ නැහැ අබා, මානව වර්ගයාගෙ පැවැත්ම රඳා පවතින්නේ හුදෙක් චින්තනය මත පමණයි. තම චින්තන පථයත් සමග සමානුපාත වන චින්තන පථයක් ඇති වෙනත් කෙනෙකු හා සමීප වෙන එකේ අවුලක් නෑ” කසුන් මහා ගාම්භීර හඩකින් එසේ පවසනකොට බකස් ගා මහ හයියෙන් අබාට හිනා ගියා. ඒ දෙසට හැරුණු යමෙක්, ”මළ සමයං ඇඳුම් පිටින් ” යැයි කියනු ඇසුනු ඇයට ඊටත් වඩා හයියෙන් හිනා ගියාය. ඇගේ සිනහවට කසුන්ද එකතු විය.
”හයියෙන් හිනා උනහම හිතට මාර නිදහසක් දැනෙනවා නේද කසුන්”
”අපිට ඉතින් ඔය ගෑණු උදවිය වගේ නහය එල්ලගෙන අඩ අඩ ඉඳලා පුරුද්දක් නැහැනෙ, ෆුල් ආතල් එකේ ඉන්නෙ”
”අර මාරසිංහ කියනවා වගේ ආතල් අන්ප්ලග්ඞ් ද?”
”දන්නවද අබා, තාත්තා දැන් පැන්ෂන් යන්න ඔන්න මෙන්න ඉන්නෙ, ලොකු අයියගෙ පඩියෙන් තමයි ගෙදර ගොඩක් වියදම් පිය වෙන්නෙ. මගෙ හිතට වද දෙන මේ ප්රශ්න නිසා පසුගිය කාලෙ හිටියෙ හිතේ දුකෙන්. අද ඔයත් එක්ක හිනා උනාට පස්සෙ ලොකු සහනයක් දැනුනා”
දහසකුත් කරදර මැද ඉගෙන ගන්න වෙර දරන මේ පිරිමි දරුවා ගැන අබාගේ හිතේ බොහෝ ලෙංගතු කමක් ඇති විය. මාස කිහිපයක් ගෙවුනු සරසවි ජීවිතේ, ඉක්මනට ලංවුණු ජීවකත්, කසුනුත්, සමීරත් ඇරෙන්න යාළුවන්යැයි ඇත්තෙන්ම කිවහැකි යමෙක් ඉන්නවානම් එ් නන්දිතා සහ ශාලි පමණි.
”අනේ කසුන් , මම දැනන් හිටියෙ නැහැනෙ ” කෑම වෙලාවට දිසා සහ තමාව මග හැර සිටින්නේ ඇයිදැයි අබාට වැටහුනේ දැනුයි.
”මෙතන කඬේ දාගෙන හිටියා ඇති යමු අපි දවල්ට කන්න ඕනා”
”ඔයා යන්න අබා, මට පොඩි වැඩක් තියෙනවා”
”අනෙ මේ පිස්සු නැතුව මෙන්න මෙහෙ එන්න. මං බත් පැකට් එකක් ගෙනාවා. බෙදාගෙන කමු” අබා කසුන්ට ලෙංගතු හඩින් පැවසීය.
ආපන ශාලා පරිශ්රයේ තිබුනු මේසයක් වෙත ඇදුනු අබා සහ කසුන්, අත් සෝදා ගෙන එක බත් පත දෙකට බෙදාගෙන කෑවේය.
විශ්ව විද්යාලය තුලදී දිසා හෝ ජීවක සමග නිතරම කාලය ගත කළ තමා වෙත බොහෝ ලෙංගතුව සිටි මේ අපූරු යහළුවා ගැන මදකුදු සැලකිල්ලක් නොකිරීම ගැන තමාටම දොස් කියාගත්තාය.
සවස් කල ප්රායෝගික පුහුණු වැඩමුළුව හමාරවූ පසු, ලයනල් වෙන්ඞ්ට් කලාගාරය වෙත යනු සඳහා ජීවක තමාව මුණගැසෙනවා යැයි කියූ මාර ගහ යට බංකුව සමීපයට යද්දී මදක් පමා වී තිබුනත් ජීවක වෙනුවට එතැන සිටියේ දහඩිය දමාගත් මුහුණින් සිටි තිලක්ය.
”ආරණ්යා, නංගී, ජීවක... හ්ම් එයාට එන්න වෙන්නෙ නෑ අද. කියන්න කිව්වා ජීවක ” ගොත ගසමින් පැවසූ තිලක් ගේ මුහුණින් දිස්වුයේ දැඩි නොසන්සුන් බවකි.
”ඇයි අයියේ .. කරදරයක් නේද”
”නෑ, එහෙම නෑ , එහෙනම් .... ” තිලක් නැඅවත වට පිට බලන්නට විය.
”එහෙනම්..?” අබා ප්රශ්නාර්ථයක් අගට අමුනා විමසීය”
”.. මං ගියා” ඔළුව දෙපැත්තට වැනූ අබා මද සිනහවක් පෑවාය.
ඔහු ඈත යන අයුරුත් සමීර කොහේදෝ සිට පැමින ඔහුගෙන් කිසිවක් අසා අබා දෙස බලා අත වනන අයුරුත් බලාගෙන සිටි කසුන්ට මෙය මහත් පේ්රහෙළිකාවක් බඳු විය.
”මොකක්ද ඒ”
”මට නම් තේරෙන්නෙ නෑ, ජීවක අයියා එක්ක ලයනල් වෙන්ඞ්ට් යන්න එන්න කිවා අද”
”ඒ මොකටද”
”වෙන මොකකටද ඉතින් ? අර බලන්න” ගේට්ටුව දෙසට යමින් සිටි අබා සහ කසුන්ට ඊළඟට දකින්න ලැබුනේ ඔවුන් දෙසට කලබලයෙන් එන සමිරය.
”ඒ පාර සමීර අයියා” අබාට නිකම්ම කියැවිනි.

මතු සබැඳෙයි.

0 comments: