Sunday, 18 May 2008

මට සර් එක්ක පොඩි ගනුදෙණුවක් තියෙනවා...


27
ජීවකත් තිලකුත් මුහුණට මුහුණ බලාගති. පාඩම් කරමින් සිටි පිරිමි දරුවන් කිහිපදෙනාද ඔවුන් දෙස බැලූවෝය.
”ඇතුලට එන්ඩ..” ජීවක හඩ නගා පැවසුවත් මිනිත්තු කීපයක් යන තෙක්ම කිසිවෙක් පැමිණියේ නම් නැත.
නැවතත් දොරටුව දෙසින් ඇසුනේ කිසිවෙක් උගුර පාදන හඩකි. එවර නම් තිලක් නැගී සිටියේ ඇතුලන නෑවිදින් දොරටුව ලඟ ගැවසෙන්නා කවුරුද බලන්නයි.
”මචං බලපන් කවුද කියලා, මම ටක් ගාල මේ ටික කාල එන්නම්”
දොරටුව දෙසට ගියද කිසිවෙකු දක්නට නොලැබුන හෙයින් ටිකක් එළියට බැස බලද්දී, ඩෙනිම් සයිමන් නමින් වත්තේ කොයි කවුරුත් හඳුන්වන උස හීන්දෑරි තැනැත්තා, දොරටුවට බොහෝ ඈතින් සිට අත වනනු දුටුවේය.
”මොකෝ සයිමන් , එන්න ඇතුලට” තිලක් හඩ නගා කතා කෙරුවත් අදි මදි කරමින් සිටින ඔහු ඇතුලට එන පාටක් නැති නිසා තිලක් ඔහු සිටින දෙසට ගියේය.
” මොකද්ද උවමනාව ?” අසමින් තිලක් ඔහු අසලට යද්දී,සයිමන් දෙසින් දැඩි අරක්කු ගඳක් දැනිනි.
”මේ.... මම මේ.. ජීවක මාත්තයා, පොඞ්ඩක් හම්බ වෙන්න ඕන” වචන පටලවමින් ඔහු කියද්දී මේ මිනිසා සමග කතා කරන එකේ තේරුමක් නැතැයි සිතූ තිලක්.
”ඔහොම ඉන්න ජීවකට මම කතාකරන්නම්” කියා දොරකඩ සිටි ජීවකට අතින් සන් කර පිඟාන සේදීම පිණිස පයිපය දෙසට ගියේය.
.................................................................
”කාටද බං උඹ කෑ ගැහුවේ” පයිප්පය දෙස සිට එමින් සිටි සමීර තිලක් දුටු විගසම ඇසීය. ”අර සයිමන් කියල පොරක් ඉන්නේ , එ්කා ඇවිත් ජීව හම්බ වෙන්ඩ”
”ආ එ්ක මිසක්..”
”ඒ යකා කුණු වෙන්න ගහලා, ඌ එතන කබරයා දැම්මොත් අපිට තමයි එ්කෙනුත් කරදරේ. වරෙන් මාත් එක්ක පිඟාන හෝදන් එන්න”
”ඇයි උඹට තනි කං දෝසෙද”
”කිව්වම අහල වරෙංකො” තිලක් දැඩි හඩින් පැවසීය
නැවත ශාලාව දෙසට යන්නට තැබූ අඩිය ආපස්සට හරවා තිලක් සමග එකතු වූ සමීර පයිපය දෙසට යන්නට විය.
.....................................................................
”ඇයි සයිමන්” ජීවක ඔහු අසලට එනු දුටු සයිමන් තව තවත් ඈත් වෙන්නට විය. කාරණය තේරුම්ගත් ජීවක. ”ආ ඒකට කමක් නෑ ආවෙ මොනව හරි හදිස්සියක්වත්ද, මෙහෙම කතා කරන්න බෑනේ සයිමන් එන්න ඇතුලට”
”නෑ මහත්තයා, මම...ඇතුලට එද්දි දැක්කා අපෙ පොඩි පැටවු පොත් පෙරළන්, උන්ට ඩිස්ටබ් කරන්ඩ ඕන් නෑනෙ සර්” අසල තිබෙන කෝප්ප කොළ පඳුරක් එක අතින් අල්ලාගෙන නොවැටී සිටින්නට දඟලමින් සිටි මේ මිනිහා දුටු ජීවකට, අරක්කු, කසිප්පු මත්පැන් වලින් දිරාපත් වන මොවුන්ගේ ජීවිත ගැන ඇති වුනේ කනස්සල්ලක්.
”මට සර් එක්ක පොඩි ගනුදෙණුවක් තියෙනවා කථා කරගන්ඩ,සර්ල ...” නැවත වැටෙන්නට ගිය ඔහු මෙවර වත්තම් කරගත්තේ ජීවකයි.
”ලොකු උන්නැහේ එහෙනම් හෙට උදේ හරි හවස හරි එන්නකො,මෙහෙම කතා බස් කරන්න බැහැ ලොකු උන්නැහේ, හොඳ සිහියෙන් ඉන්න වෙලාවක එන්න. අපි හවස් වරුවේ මෙහෙ ඉන්නවා” තත්ය ලෝකෙන් සහ පියවි සිහියෙන් ඈත්වී සිටින මේ මිනිසා සමග කථා බස් කිරීම විහිළුවක් යැයි සිතූ ජීවක එසේ කියා ශාලාව දෙසට ගියේය.
මත්පැන් නිසා අවුල් වෙන ම්නිස් ජීවිත මෙතැකැයි කියා නිම කල නොහැක. බැන අඩ ගැසීම් කෑ කෝ ගැසීම් රාත්රිය එළබෙන කල මෙහි නිවෙස් බොහොමයකින් ඇසේ, කොහේ හෝ හොර අරක්කු තිප්පොලකින් අඩු මුදලට ලැබෙන ශරීරයට කොහෙත්ම හිතකර නොවෙන මධු විතෙන් සප්පායම් වන මොවුන්ගේ දවසේ ආදායමෙන් අඩකටත් වඩා වියදම් වෙන්නේ මේ දහ ජරාව තොලගෑමටය.
”නෑ මම ආවේ. මාත්තයට, සොරි ස්ශමාවෙන්න සර්ට,මගෙ කෙල්ල ගැන, මගෙ කෙල්ල ගැන වදවෙන්න එපා කියන්ඩ ” දෙපා වාරු නැතිවී ගිය ගෙයින් සයිමන්ට හිටගෙන සිටි තැනම ඉන්දවිනි
ජීවක ඔහුව දෑතින් අල්ලා නැගිට්ටුවේය. මේ කාලගෝට්ට්ය ඇසී ශාලාව දෙසට පැමිණි කොළු ගැටව් කීපදෙනෙකු අමතා ”මල්ලී මේ මනුස්සයව ගෙදරට ඇරලවන්න” යැයි කියූ ජීවක හැරී ශාලාව දෙසට පියමැන්නේය.
”මේ මිනිස්සු තමන්ගේ ජීවිත කාලකණ්ණි කරගන්නවා මදිවට අපිටත් පව් දෙන්න එනවා” ශාලාව දොරකඩ සිටි තිලක් සහ සමීර අමතා එසේ කියූ ජීවක දොම්නස් සිතින් යලිත් තම සටහන් ගොන්න ලඟින් ඉඳ ගත්තේය.
මතු සබැඳෙයි.

1 comments:

කැඩපත said...

මත් පැන්, දුම් වැටි මේවා අපෙ මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරන්න විදේශිකයන් පුරුදු කරපු ජරා පුරුදු.අපේ මොඩ මිනිස්සු දැන් ඒවාට ඇබ්බැහිවෙලා.කොටින්ම කියනවානම් බොන එක දැන් ශ්‍රිලාන්කිය සන්ස්කෘතියේ අන්ගයක් බවටත් සමහරු හිතාගෙන ඉන්නවා.ඒකට වග කියන්න ඔනි අපේ වැඩිහිටියොයි.