Friday, 16 May 2008

ඒ ඉරෙන් එළියෙද මට ඉන්න කියන්නෙ ?

25
”යමු අමුත්තන්ට තේ මේසයක් ලෑස්ති කරල තියෙනවා. එන්න ” ජීවක ඇතුලූ පිරිස අනුත්තරා පසු පස ඇදුනි.
”ජීවක , මම හිතුවෙ නෑ ඔයා එයි කියලා, එ්ත් හිත ඇතුලෙ පොඩි බලාපොරොත්තුවක් තිබුනා ” අනුත්තරා තම උපැස් යුවළට උඩින් ජීවක දෙස බලමින් පැවසීය.
”මොනවද තොරතුරු අනූ ?”
”මම ඉතින් ඔහේ ඉන්නවා, පේරාදෙණියෙ කැම්පස් එකෙත් එක්සිබිශන් එකක් (ප්රදර්ශනයක්) තිබ්බා, ෆැකල්ටියේ ඔක්කොමලා වගේ ආවා,
ආරණ්යා මොනවද කරන්නේ ? ” අබා දෙස බලමින් ඈ ඇසීය.
”ම් ආරණ්යා අපෙ ෆැකල්ටි එකේමයි” එවර පිළිතුරු දුන්නේ සමීරයි.
”ආ එහෙමද ? ජීවක නුවර ආවෙ නැද්ද ලඟදී ”
”අර මොකටද ? ” ජීවකගේ මූණ පුරා ඇඳුනේ නොපහන් බවක්.
” මේ කේක් නම් මරු, කොහෙන්ද ගත්තෙ ” ඇතිවෙන්නට යන දෙබසේ නීරස බව දැනුනු නිසාදෝ සමීර කථාව වෙනතක හරවන රිසියෙන් පැවසීය.
” ඕවා නාලිනී හැදුවෙ, එයා ආවෙ නෑ කොළඹ”
”මේ චිත්ර විකුණනවද ?” සමීරගෙන් තවත් ප්රශ්ණයක්
”ඔව් අර මුල් කොටසෙ තිබ්බ ගොඩක් චිත්ර දැනටමත් වෙන් කරා හෝටලේකින් ඇවිත්”
”ජීවක මම ඔයාටත් චිත්රයක් වෙන් කරා, මතකද අර සංගිලි පාලම, අපි නිතර පහු කරගෙන එන්නේ ..”
”මට කොහේ එල්ල ගන්නද අනූ ”
”එහෙම බැහැ සතුටෙන් දෙන දෙයක්නෙ ඔයා බාරගන්නම ඕනෙ”
එනපොට හොඳ නැති බව ඉවෙන් මෙන් තේරුනු සමීර ජීවක දෙස බලා අත බැඳි ඔරලෝසුව පෙන්නුවේය.
”අපි දැන් ගියොත් හොඳයි නේද ? ” ජීවක සමීර දෙස බලමින් කියද්දී අනුත්තරා මුහුණ එල්ලා වැටිනි.

”ජීවක එක පාරක් කියන්න, තවමත් ඔය හිතේ මට ඉඩක් තියෙනවද කියලා... දැන්වත්”
චිත්රාගාරයේ දොරටුව අභියසදී, ජීවකගේ අතකින් අල්ලාගත් ඈ, ආයාචනාත්මක හඩින් ඇසීය.

”අනුත්තරා, තේරුම්ගන්න, මිනිහෙක් එකම වැරැද්ද කීප සැරයක් කරනවානම් ඒක ගොන්කමක් ! ඔයාට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තියෙද්දිත් අමාරුවෙ වැටෙන්න එපා. අනූ ඔයාට දුර ගමනක් යන්න පුළුවන් චිත්ර කලාව එක්ක, ඔයා හිත එකලස් කරගෙන ඒ දේ කරගන්න ඉහළටම”

”ඉස්සර වගේමද තවමත් හිතන්නෙ, ඔයා .... ඔයා වටේට ඉරක් ඇඳගෙන ඒ ඉරෙන් එළියෙද මට ඉන්න කියන්නෙ ? ”

කිසිවක් නොපැවසූ ජීවක මද දුරක් ගොස් නැවත හැරී බලා ”බුදුසරණයි ” කියමින් දුරින් අඩි තියමින් විගස ගොස් සමීර සහ ආරණ්යා සමග එකතු විය.

නැවත හැරී බැලූ ආරණ්යා දුටුවේ ඔවුන් දෙස බලා සිටින අනුත්තරාය, ඇගේ මුහුණේ තිබුනේ කෝපයක්ද දුකක්ද, පසුතැවීමක්ද කියලා හරියට තේරුම් ගන්න බැරි හැඟීමක්. ඒ නිසාම ඇය මද සිනහවක් මුවග රඳවා ඇයට අත වනා ජීවක සහ සමීර සමග බස් නැවතුම් පල දෙසට ඇවිද්දා.

”අබා කොහෙන්ද බස් එක ගන්නේ ?”
”ම්ම් තුම්මුල්ලටම යන්න වෙනවා” අබා වේලාව දෙස බලමින් පැවසීය
”හරි අපි ඔයාව ඇරලවන්නම්”
බස් නැවතුමේ ඒ වෙනකොට වැඩි දෙනෙක් සිටියේ නැත, බොහෝ පමාවෙලා නිසා අම්මාට දුරකථන ඇමතුමක් දෙන්නත් අබා අමතක කලේ නැත. තම ජංගම දුරකථනය නැවත බෑගය තුල රුවා ගත් අබා තරුණයන් දෙදෙනා අසලට පැමිණියාය.
”සමීර කිව්ව විදිහටනම් ඒ ඔයාගෙ නෑදෑයෙක් නේද ? ”
”ඔව් ඒ වගේ කෙනෙක් තමයි” ජීවක නොසැලකිල්ලෙන් උත්තර දුන්නේය.
”එහෙනම් ඇයි එයා ටිකක් අමුතු විදිහට කතා කලේ? ”
”දන්නෑ” ජීවක ඈත පෙනෙන විශ්ව විද්යාල පිට්ටනිය දිහා බලාගෙන උත්තර දුන්නා
”මුගෙ කතා හැම එකක්ම පටලිලා තමයි නංගී ” සමීර ජීවක දෙස බලමින් කීය
”අබා දැන් රැ හතටත් කිට්ටුයි යං අපි ඇරලලා එන්නම්” ජීවක දැහැන්ගත වී සිටි සිතුවිලි ලෝකයෙන් මිදී එක් වනම පැවසුවේය.
”නෑ කමක් නැ කොහොමටත් ඔයාලා ඉන්නවනෙ බොරැල්ලට යනකම්ම”

මතු සබැඳෙයි.

1 comments:

කැඩපත said...

”ඉස්සර වගේමද තවමත් හිතන්නෙ, ඔයා .... ඔයා වටේට ඉරක් ඇඳගෙන ඒ ඉරෙන් එළියෙද මට ඉන්න කියන්නෙ ? ”

ලස්සන උපමාවක්.

ඒ කියන්නේ ජීවක හා අනුත්තරා නම් කුලක දෙකේ ජේදනය අභිශුනය කුලකයකි.