Wednesday, 14 May 2008

කසුන් හරි දාර්ශණිකයෙක් වෙලානෙ


22
නීති පීඨය පැත්තට ගමන් ගත් ජීවක, එහි ප්රධාන ශාලාව ඉදිරි පසින් වම් අතට හැරී, තවත් ඉදිරියට ඇදුනේය. අරලියා ගසින් අලංකාර වූ මාවත දෙපස තරුණ තරුණියන් රංචු පිටින් තොර තෝන්චියක් නැතිව කතා බහේ නිරතව සිටී. මදක් විපරමින් වට පිට බැලූ ජීවක ගොඩනැගිලේ කෙළවර සිටි පිරිසක් තමන් දෙස වඩා උවමනාවෙන් බලනු දුටුවේය. සමීර තිලක්, සහ සුපුරුදු මුහුණු රැුසක් එ් අතර සිටිනු දුටු හේ වඩ වඩා තම වේගය වැඩි කලේය.

”මොකද බං පරක්කු ? ” සමීර විමසීය.
”මොකද උඹ රතු වෙලා ? ” ජීවක සිනහ වෙමින් ඇසීය.
”අව්ව තැපලා....” සමීර මදක් නුරුස්සනා ස්වරයෙන් පැවසීය
” උඹට සතුටුද දැං, අපි මෙතන කට්ට කන්න ඕනෙ, උඹ නිසා”
”හරි හරි මචං මම නිකං ඇහුවෙ.. එහෙනම් යමුද? කොටුවට යනකොට වෙලාව හරි යයී”
සමීරගේ කරවටා තම අත දමමින් ජීවක පැවසීය.
...............................................................
”අබා මොනාද මේ අහස පොළව ගැටගහන්න තරම් කල්පනා කරන්නේ” ආපනශාලාවේ මේසෙක වාඩි වී සිටි අබා දෙස බලමින් කසුන් ඇසීය.
කසුන්ගෙ හඩට සඟරාවක් කියවමින් සිටි දිසා අබා දෙස බැලීය. එහෙත් අබාට කසුන් කතා කරනු ඇසුනේ නැත.
උරහිස් දෙක ඔසවා ”අනේ මං දන්නෙ නෑ මෙයාට අද මොනවා වෙලාද කියලා”තනිවම සිනහ වෙමින් සිටි අබා දෙස බලමින් දිසා කෙඳිරීය.
ජීවිතේ වෙලාවකට අපිව ගොඩක් වෙහෙසවනවා, වෙලාවකට අපිව අඩවනවා, වෙලාවකට හිනස්සනවා, ඒත් ඒ හැම කඳුලකටම , සිනහවකටම, සුසුමකට ඔරොත්තු දෙන්න තරම් අපෙ හිත් දරදඩු වෙලා, එ් හැම හිනහවක්ම මොහොතින් අමතක වෙන්න ඒත් එක්කම දුකක් දැනෙනවා, හැම දුකක්ම මොහොතක් පවතින්න ඒ එක්කම හිනාවක් උපදිනවා. ජීවිතේ හරි පුදුමයි.

”ජීවිතේ හරි පුදුමයි..” අබා උස් හඩින් පවසනු ඇසුනු සියල්ලෝම ඈ දෙස බලන්නට විය
”ආ.... අබා දැන්ද තේරුණේ”
සියල්ලන්ම තමන් දෙස බලා සිටිනු දුටු ඇයට ලැජ්ජා සිතිනි.
”නෑ කසුන් මම හිත හිතා හිටියෙ අපෙ ජීවිත ගැන. වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම දමල ගහලා ගිහින් ආරණ්යගත වෙලා භාවනා කරන්න. සැබෑ සැනසුම තියෙන්නෙ එතනයි කියල හිතෙනවා.”
”ඇයි දෙයියනේ ඔයා එහෙම කියන්නේ” දිසාගෙන් ප්රශ්ණයක්.
”කොයි තරම් විඳවන්න වෙනවද ජීවිතේ, වෙලාවකට සතුටුයි වෙලාවකට දුකයි”
”අබා, ඒත් ඒ හැම දේම මැද සිතින් දරාගන්න අපිට පුළුවන්නම් ඒක තමයි දිනුම.”
”කසුන් හරි දාර්ශණිකයෙක් වෙලානෙ”
”එහෙමමත් නෑ ඉතින්, ඔහොම හිතෙනවා දරාගන්න අමාරු දේවල් විඳින්න උනහම” එසේ කියා කසුන් නැවත තමන් කියවමින් සිටි පොතට නැභුරු විය.
”හවස දේශනේට ඔයා ඉන්නවද?” ලැජ්ජාව සඟවගන්නට මෙන් ඇය විමසීය.
”ඔව්, ඇයි ඔයා එන්නෙ නැතුව ඉන්නද හදන්නේ”
”නෑ නෑ පොඞ්ඩක් ලයිබ්රරි එකට දුවලා එන්නම්” පොත් මල්ලත් ෆයිල් කවරත් එකතු කරගත් අබා නැගිට ආපන ශාලාවෙන් පිටවිය.
”අබාට මොකද වෙලා තියෙන්නෙ ?” කසුන් දිසා ගෙන් විමසීය.
”අනෙ මන්දා ..” දිසා නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නාය.
”එයා කියන කරන දේවල් සමහර විට තේරුම් ගන්න අමාරුයි” ඈත යන අබා දෙස බලාගෙන කසුන් පැවසීය.
”මේ මොනවා කියනවද කසුන්, තේරුම් ගන්න උත්සහ කරන්නවත් එපා, එයා ඒ තරම් සංකීර්ණයි. එක පැත්තකින් ජීවක එක්ක නටනවා තවත් පැත්තකින්, කල්ප කියලා එකෙක් ඉන්නවා. ඔක්කොම අපිට හංගනවා. ඇහුවොත් කියන්නෙ, මගෙ යාළුවො කියලා ” දිසා කේන්තියෙන් කියාගෙන කියාගෙන ගියාය.

”අනෙ මේ දිසා, ඔයා අබාගෙ යාළුවෙක් නේද? එහෙම වෙලත් ඇයි මෙහෙම කැත කතා කියන්නේ, අබාගෙ හොඳම යාළුවා කියලා ලෝකෙටම පෙන්නගෙන අනිත් පැත්තට එයාට කතා හදනවා, උඹලා වගේ ගෑණු තමයි ලෝකෙ ඒ කොණේ ඉඳන් මේ කොණටම ගිනි තියන්නෙ. අබා ඉස්සරහ බබා පාට් පෙන්නලා යටින් ඒකිට බනිනවා, කොයි තරම් කැතද, චික් ! මම හිතුවෙ නෑ දිසා ඔයා මේතරම් පහත් ගෑණියෙක් කියලා..” කසුන් උස් හඩින් බනින්නට විය.

දෙතොල් සපාගෙන බිම බලාගත් දිසා කුමක් කියම්දෝ කල්පනා කරන්නට විය. තමන්ගේ නරක සිතුවිලි ගැන ඇයට ලැජ්ජා සිතින.
”අනෙ මම එහෙම හිතල නෙමේ කිව්වෙ, එයා අපිට හංඟන එකට තරහයි මට”
”මතක තියා ගන්නවා, ඔය අනුන්ට හදන පද දවසක තමන්ටම කැරකිලා එන බව ” එසේ කියමින් කසුන් මේසයෙන් නැගිට යන්නට ගියේය.
”අනේ කසුන් අබාට කියන්න එපා මම මෙහෙම කිව්ව බවක්” දිසා ආයාචනා කරමින් ඔහු පසු පසින් දුවන්නට විය.

මතු සබැඳෙයි.

0 comments: