Friday, 9 May 2008

දැං අපි කාට හරි අඩගහයි ..


19
”මේ කරන්නට යෙදුන කර්තව්ය බොහෝම වටිනවා. එ් මොකද ,අද මේ තරුණ පිරිස කාගෙවත් බල කිරීමකටවත්, අණ කිරීමකටවත් නෙමෙයි මේ සද්කාර්යයට මූලික වෙලා කටයුතු කලේ , තමන්ගේම උවමනාවට. ළමයිනේ මනුස්ස ආත්ම භාවයක් ලැබ මනුස්සයෙක් වෙලා උපදින්නේ කලාතුරකින්, ඒ කිව්වේ කණ කැස්බෑවෙක් විය සිදුරකින් අහස බලනවා වගේ මේ මනුස්ස ආත්මයක උපත ලැබීමත්.
ඉතින් ඒ මනුස්ස අත් භවේදී කරන්න පුලූවන් තරමක් පව් වැඩ කරගත්තම එ්වා එකතු කරගෙන යන්නේ ඊළඟ ආත්ම භවයට. අගති ගාමී ක්රියාවල යෙදීමත් ඒවාට අනුබල දීමත් නොකළ යුතුය.
අද ලෝකය දරුණුයි, විෂමයි, ඒ වගේම මේ පළාත ගත්තොත්, ගොඩාක් දරුණු සමාජ විරෝදී ව්යාපාර, අකටයුතුකම් සිද්ධ වෙන පළාතක් හැටියට ඔය ළමයි මේ වැඩිහිටි පිංවත්තු හොඳටම දන්නවා. එහෙම පළාතකින් මේ වගේ හරිදේ, සුදුසු දේ, කරමින් තමන්ගේ කාලය සමාජ සංවර්ධනයට යෙදවීම ඉතා උසස් පිංකමක්, ප්රතිපත්තිමය වශයෙන් තමන්ට ගුණගරුක විය හැකිනම්, එ් ආදර්ශයට අරගෙන මුළු මහත් සමාජයම ගුණවත් සිල්වත් වෙනවා...”
ඔයාදී අගනා දහම් කරුණු ආශ්රයෙන් ලොකු හාමුදුරුවන් වහන්සේ රැුස්ව සිටි සියල්ලන්ටම අනුශාසනා කළෝය.
ඉන්පසු යෙදුනේ නන්ද පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා කථාවයි.
”මම ඔය දරුවන්ට පොඩි කථන්දරයක් කියන්නම්, මේ ප්රදේශයට මීට අවුරුදු දෙකකට විතර කලින් ආවා, තරුණයෝ තුන් දෙනෙක්, ඔවුන් ආවේ පන්සලට, නවාතැන් හොයාගෙන, මගේ දැන හැඳුනුම්කමට එ් ඇත්තොන්ට මේ ප්රදේශයේ පොඩි ගෙයක් හොයා දුන්නා. අද ඒ අපි නවත්ත ගත්ත තරුණ මහත්තුරු තුන්දෙනා නිසා, අපේ වත්තේ දරුවෝ ඉස්කෝලෙ යනවා, සමහරු විශ්ව විද්යාලෙට පවා තේරුණා, තවත් අය ඉතා හොඳ රැකියා වල නිරත වෙනවා. අන්න බලන්න ළමයිනේ, තරුණ ගැටව් තුන්දෙනෙක්, තමන්ගේ වෙර වීර්යයෙන් සමාජයක් ගොඩ නගන්ට උත්සහ කරනවා. ඉතිං එ් තරුණ මහත්තුරුන් මූලික වෙලා, හාමුදුරුවනේ අපි මෙහෙම කරමු කියලා, අපේ පංසලත් එකතු කරගෙන මේ කරන්නට මුල් වුනු සාධු කර්තව්යයට අපි හැමෝගෙම සහයෝගය දීම වටිනවා. වෙහෙර විහාර වලට පුද පූජා කලාට වැඩක් නෑ හිතේ පිරිසිඳුකමක් නැතිව. අන්න ඒ දේ වටහා ගත යුතුයි. දැනුම, උගත්කම බුද්ධිමත්කම කියන මේ ආභරණ පැළඳගත්තට මදි, අධ්යාත්මික ගුණවගාවක් නැත්නම්.
මුල් කථා, මුල් තැන අවශ්ය නෑ හාමුදුරුවනේ කියලා මේ මහත්තුරු නිතරම කියන කථාවක්, මේ අපි හැම දෙනාම හොඳින් හිතට ගත යුත්තක්, මමයි මූලිකයා මමයි ලොක්කා, කියලා, හැම තැනකම මුල් තැන ගන්ට බලයට නම්බු නාම වලට ගිජු වෙලා වැඩ කරන මිනිස්සු පිරිච්ච ලෝකෙක, මේ තරුණයින් කවදාකවත් මුල් තැන ඉල්ලලා පොරකන්නේ නැහැ, බලය ඉල්ලලා වලිකන්නේ නැහැ තමන් කවුද, කරන්නේ මොනවාද කියන එක ගැන අණ බෙර ගහන්නේ නැහැ. එදා මේ පන්සලට ආපු තරුණයන්මයි අදත් මෙතන ඉන්නේ....”
නන්ද හාමුදුරුවන් රැුස්ව සිටි සියල්ලන් අමතා එලෙස කියද්දී, සියල්ලෝම සමීර සහ තිලක් දෙස බලන්නට විය.
”මචං කෝ මේ ජීවක.. දැං අපි කාට හරි අඩගහයි ඔතන කථා කරන්ට,” සමීර තිලක් වෙත නැඹුරු වී කොඳුරන්නට විය.
”ඒක තමයි මේකා මොකද තවම පරක්කු, අපි දෙන්නටම බෑනෙ ඕවට කථා කරන්ඩ”
”සාධු සාධූ සාධූ , අපට අවවාද අනුශාසනා කරමින් අපට නිතරම හරි මග යන්ඩ හරි දේ දකින්ඩ නිතරම අපිට දහිරිය ශක්තිය දෙන අපේ නන්ද පොඩි හාමුදුරුවන් වහන්සේටත් , ලොකු හාමුදුරුවන් වහන්සේටත් ගොඩාක් ස්තූතියි අපට හරි මග පෙන්වලා හරි දේ දකින්න සලස්වනවාට. කොයි තරම් බැහැ කීවත්, දැං මේ සභාවේ මුලික තැන ගන්ට සුදුසුම පුද්ගලයින් අපේ මේ ලොකු අයියලා තුන් දෙනා බව නොරහසකි. ඉඳින් හිමි විය යුත්තක් වේ නම් එය සුදුස්සාටම හිමි වේ, ජීවක තිලක් සමීර අයියලාටයි මේ ආරාධනය , අපට අවවාද කරන්ඩ හරි මග පෙන්වන්ඩ ඔබ තුමන්ලා සිටිය යුතුමය” අසේල මල්ලී එසේ කියා සමීර සහ තිලක් දෙසට හැරිනි.
එවිට සමීර හුනස්නෙන් නැගිට, ”අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුලූ ගරු සභාවෙන් අවසරයි මේ මල්ලිලා නංගිලා බොහොම උනන්දුවෙන් හොඳ දේවල් කරන්න, හිත් පිරිසිඳුව පටන් ගත් මේ කර්තව්ය දිගටම කරගෙන යන්ට අපෙන් ඕනෙම උදව්වක් ලැබෙනවා, එපමණයි , සියළු දෙනාටම තෙරුවන් සරණයි” කියා හිඳ ගත්තේය.
හැම දෙනාම මහා ලොකු දේශනයක් දේවි යැයි සිතා සිටි හෙයින්, පුදුමයෙන් ඔහු දෙස බලන්නට විය. මේ තරුණයන්ගේ හැටි හොඳින්ම දන්නා ලොකු හාමුදුරුවන්ද නන්ද පොඩි හාමුදුරුවන්ද සොම්නස් මුහුණින් ඔවුන් දෙස බලා සිටියහ.
සභාව අවසානයේ, හැම දෙනම අසුන් වලින් නැගී සිට, ජාතික ගීයද ගායනා කොට, මගේ දේශය මගේ ජාතිය මගේ ආගම, මගේ සංස්ක්රුතිය යන මේ දේවල් මගේ වීර්යයෙන් මම රැක ගනිමි යැයි ප්රතිඥා දුන් හ.
ජීවක, අබා සහ තවත් යුවතියක් සභාවේ පිටු පසින් නැගිට ඉදිරියට පැමිණෙන දුටු සමීර තිලක්ටද අතින් සන් කොට ඒ දෙසට ගියේය.

මතු සබැඳෙයි.

0 comments: